ලෝකේකනාථ වදනම්බුජ රාජහංසං
වේනෙය්‍ය කෝමුද වනං වලිසීතරංසි
අද්ධින්දුකාර වරරූප විරාජමානං
වන්දාමි සාධුමමලං ජිනදන්තධාතුං
සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු ශ්‍රී දළදා මාලිගාව ගෞතම බුදුන් වහන්සේගේ වාම ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින ලෝක පූජිත වූ ආගමික සිද්ධස්ථානයකී.
මහනුවර ශ්‍රී දළදා මාලිගය,මෙරට අවසන් රාජධානිය වන මහනුවර නගරයට නැගෙනහිරින් උඩවත්ත කැළය අසල රජ මාලිගාව ආසන්නයේ ඉදිකර ඇත. උතුරු දෙසින් රජ මාලිගය පිහිටා ඇත. දකුණු දෙසින් කිරි මුහුද හෙවත් මහනුවර වැවය. බස්නාහිරින් නාථ හා පත්තිනි දේවාල පිහිටා ඇත්තේය.
ඓතිහාසික සෙංකඩගලපුර ප්‍රථම දළදා මාලිගාව ගොඩනඟා ඇත්තේ ක්‍රි.ව. 1592-1604 අතර කාළය රජ කළ පළමු වෙනි විමලධර්මසූරිය රජතුමා විසිනි. එතුමා ඉදි කළ දළදා මාලිගාව පෘතුගීසි ආක්රමණිකයෝ විනාශ කළ බව ඉතිහාසය කියයි. අනතුරුව එම දළදා මාලිගාව පිහිටා තිබූ ස්ථානයේම දෙවන රාජසිංහ රජු විසින් (ක්‍රි.ව. 1635-1687) මහනුවර දෙවන දළදා මාලිගාව ඉදි කර ඇත.එය ද ලන්දේසිහු දවා අළු කර විනාශ කළ බවත්, අනතුරුව ක්‍රි.ව. 1687 දී රජ වූ දෙවන විමලධර්මසූරිය රජතුමා විසින් මහාර්ඝ තෙමහල් දළදා මන්දිරයක් ගොඩනංවා දළදා වහන්සේ එහි තැන්පත් කොට නානා විධ පුද සත්කාර සිදු කළ බව දළදා ඉතිහාසයේ දැක්වේ. එම දළදා මැඳුර කල්යත්ම දිරාපත්ව විනාශ වූයෙන් ඔහුගේ පුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (ක්‍රි. ව. 1707-1739) වර්තමානයේ දක්නට ලැබෙන දෙමහල් දළදා මාලිගාව ඉදි කර ඇත. ඉන්පසු සෙංකඩගල රාජ්‍යත්වයට පත් නායක්කර් වංශික ද්‍රවිඩ රජවරු ද ශ්‍රී නරේන්ද්‍රසිංහ රජු විසින් කර වූ ශ්‍රී දළදා මාලිගාව පිළිසකර කරවා ආරක්ෂා කළහ. කීර්ති ශ්‍රී රාජසිංහ මහ රජු මෙම දළදා මාලිගාව වර්තමානයේ දක්නට ලැබෙන ස්වරූපයට මනාව ප්‍රතිසංස්කරණය කර ඇත. අටාස‍්‍ර ගොඩනැගිල්ල හෙවත් පත්තිරිප්පුව තනවා ඇත්තේ ක්‍රි. ව. 1798-1815 අතර මහනුවර රජකම් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා විසිනි..
වර්තමානයෙහි ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා බුදු පුද දක්වනුයේ සුවාසු දහසක් ධර්මස්කන්ධයේ පහස ලැබුවා වූ මහනුවර දළදා මන්ඳිරයේ වැඩසිටින වාම දළදා වහන්සේටය. එදා ජීවමාන බුදුරජාණන් වහන්සේට ආනන්ද මහතෙරුන් වහන්සේ ඉටුකළා වූ සියලූ චිරාගත සාම්ප්‍රදායික බුද්ධෝපස්ථාන බුදු පුද, තේවා කටයුතු ලෙසින් අද පැවරී ඇත්තේ මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේලා ප්රමුඛ එම විහාරවාසී මහා සංඝරත්නය වෙතය.
වසරින් වසර මුර මාරු වෙමින් අදාළ පාර්ශවයේ මහානායක මාහිමිපාණන් වහන්සේ හෝ උන්වහන්සේ නියෝජනය කරමින් පත්වන තේවා භාර නායක මාහිමිපාණන් වහන්සේ කෙනෙකුගේ ප්‍රධානත්වයෙන් තේවා කටයුතු ඉෂ්ට සිද්ධ කෙරේ. දෛනිකව සිදු කෙරෙන එම තේවා කටයුතු වලට අමතරව දෛනික, සතිපතා සහ වාර්ෂිකව දළදා පුද පූජාවන් චිරාත් කාලයක සිට අද දක්වාම නොකඩවා සිදු කරනු ලැබේ.
අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති ශ්‍රී දළදා මාලිගාව වාස්තු විද්‍යාත්මක ලක්ෂණ, උඩරටටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් මෙන්ම ඉපැරණි දළදා මාලිගා නිර්මාණ ලක්ෂණයන්ගෙන් ද අනූනය. ජීවමාන නිර්මාණයක් බඳු වූ ශ්‍රී දළදා මන්දිරයරන්, රිදී, ඇත්දල,පිත්තල ආදි කැටයම් යොදා සෝභාමානවත් කොට ඇත.
දිය අඟල,වලාකුලුබැම්ම,සඳගල,පත්තිරිප්පුව,රන්වියමන,මකරතොරණ,අඹරාව,වැඩහිඳින
මාලිගාව,පිරිත් කොටුව,මඟුල් මඩුව,විවෘත කෞතකාගාරය,පහන් වැට,රජ මාලිගාව, බිසෝ උල්පැන්ගේ ,හඳුන්කුඩම,නව
බුදු මැදුර, කෞතකාගාරය, පල්ලෙමාල,රාජා කෞතකාගාර,මහනුවර වැව,හේවිසි මණ්ඩපය,මහා වාහල්කඩ
ආදී අංගවලින් ශ්‍රී දළදා මාළිගාව සමනවිත වේ.
නොකඩවාම දිනපතා දෙස් විදෙස් බැතිමතුන් ගේ හා ලොව නන්දෙසින් පැමිණෙන සංචාරකයින්ගේ විශේෂ ගෞරව පූජෝපහාරයට පාත්රවන්නා වූ මේ සිද්ධස්ථානය වර්ෂ 1988 දී යුනෙස්කෝව විසින් ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලදී.සමස්ත ලෝකයාගේම වන්දනාමානයට පාත්‍ර වූ මෙම අති උතුම් මහනුවර ශ්‍රී දළදා මාලිගාව අනාගත පරපුරට සුරක්ෂිතව දායාද කිරීම අප සියලු දෙනාගේම පරම යුතුකමකි.
.jpeg)




❤️
ReplyDeleteGreat 👍
ReplyDelete❤️
ReplyDelete